19/06/2026
ඊශ්‍රායලය 🇮🇱
ඊශ්‍රායලයේ නිල නාමය ‘ඊශ්‍රායල් රාජ්‍යය' යන්නයි.මෙය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටකි. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර්දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් ඊශ්‍රායලය වට වී තිබේ. ඊශ්‍රායලයේ සාපේක්ෂ කුඩා භූමි ප්‍රදේශයන්හි භූගෝලීය වශයෙන් එකිනෙකට අසමාන වූ අංග ලක්ෂණ දැකගත හැකිය. මෙය ලෝකයේ පිහිටි එකම බලවත් යුදෙව් රාජ්‍ය වන්නේ ය. මිලියන 7.5 ක් වූ ජනගහනයෙන් මිලියන 5.7 ක් ම යුදෙව් ජාතීහු වෙති. ඊශ්‍රායලයේ අරාබි රට වැසියන්ගෙන් දෙවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම සෑදී තිබෙන අතර මුස්ලිම්වරු, ක්‍රිස්තියානි භක්තිකයින්, ඩෲස් (Druze) සහ සාමාරියානුවන් (ආදී සමාරියේ වැසියන් ) මීට ඇතුලත් වෙති. නූතන ඊශ්‍රායල් රාජ්‍යයේ ඵෙතිහාසික හා ආගමික ප්‍රභවයේ මුලාරම්භය වනුයේ බයිබලයේ දැක්වෙන ඊශ්‍රායල් භූමියයි (Biblical Land of Isreal). පුරාතන යුගයේ සිටම යුදෙව් ආගමට කේන්ද්‍ර වූ සංකල්පයක් වන 'ඊශ්‍රායෙන් භූමිය' 'සියොන්' (Zion) නමින් ද දැක්වේ. යුදෙව් රාජ්‍යයක් බිහිකිරීමේ දේශපාලන ව්‍යාපාරය 19 වැනි සියවසේ අගභාගයේ පටන් හැඩ ගැසෙන්නට විය. යුදෙව් රාජ්‍යයක් ස්ථාපිත කිරීම පිළිබඳ මනාපය රැගත් බ්‍රිතාන්‍යය ප්‍රතිපත්තිය, 1917 'බල්ෆොර් ප්‍රකාශනයෙන්' (Balfour Decla ration) විධිමත් කරන ලදි. පළමුවන ලෝක යුද්ධයෙන් පසුව පලස්තීනය සහ එතුළ 'යුදෙව් ජාතික නිජබිම ' පිහිටුවීමේ වගකීම, ජාතීන්ගේ සංගමය (League of Nations) විසින් මහා බ්‍රිතාන්‍ය වෙත පවරනු ලැබීය. යුදෙව් රාජ්‍යයක් හා අරාබි රාජ්‍යයක් බිහි කිරීම සහ ජෙරුසලම එක්සත් ජාතීන්ගේ පාලනයට නතු කිරීම යන කර්තව්‍යයන් තුන සඳහා පලස්තීනයේ කොටස් වෙන් කිරීමට පක්ෂව 1947 නොවැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ වරම ලැබිණි. ප්‍රස්තුත කොටස් කිරීම යුදෙව් ජන නායකයින් පිළිගනු ලැබුවද, අරාබි නායකයෝ එය ප්‍රතික්ෂේප කළහ. මෙය සිවිල් යුද්ධයකට මග පාදන්නක් විය. 1948 මැයි 14 වන දින ඊශ්‍රායෙල් ස්වකීය නිදහස් රාජ්‍ය ප්‍රකාශයට පත් කළේය. පසුදිනම අරාබි රාජ්‍යයන් එක්ව පහර දුන්හ. එතැන් පටන් ඊශ්‍රායලය අසල්වැසි අරාබි රාජ්‍යයන් සමඟ අනුක්‍රමික යුද ගණනාවක පැටලී සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විවිධ පෙදෙස් ඊශ්‍රායලය විසින් බලෙන් අල්ලා ගෙන ඇත. බටහිර ඉවුර හා ගාසා තීරය එවන් ප්‍රදේශ දෙකකි. මේ තත්ත්වය 1949 'ආමිස්ටයිස්' ගිවිසුමේ සවිස්තරව සඳහන් කර ඇති වගන්ති අභිබවා ඇති නමුදු පලස්තීනය සමඟ ඇති ආරවුල සමථයකට පත් කර ගැනීමේ උත්සාහය මෙතෙක් ලබා ඇත්තේ සීමිත සාර්ථකත්වයකි. ඊශ්‍රායලයේ සමහර ජාත්‍යන්තර දේශසීමා පිළිබඳ මතභේද තවමත් අවසන්ව නැත.
පාර්ලිමේන්තු ක්‍රමය හා සර්වජන ඡන්ද ක්‍රමය ද ඇතුලත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහිත ඊශ්‍රායලය සංවර්ධිත රටකි. අග්‍රාමාත්‍යවරයා රජයේ නායකයා වන අතර 'නෙසට්' ( Knesset) නම් වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, ඊශ්‍රායලයේ ව්‍යවස්ථාදායකය වෙයි.
'නාමික දළ දේශිය නිෂ්පාදිතය' මත පදනම් වූ ආර්ථිකය, 2008 වසරේ දී වාර්තා වූයේ ලොව 41 වන විශාලතම ආර්ථිකය ලෙසිනි. එක්සත් ජාතීන්ගේ 'මානව සංවර්ධන දර්ශකයේ' මැදපෙරදිග රටවල් අතර ඉහලම මට්ටම වාර්තා වන්නේ ඊශ්‍රායලයෙනි. වැඩිම ජිව්‍ය කාලය වාර්තා වන රටවල් අතරින් ද, ඊශ්‍රායලය එකකි. ප්‍රධාන මුල්‍ය මධ්‍යස්ථානය 'ටෙල් අවීව්' වන අතර, ජාත්‍යන්තර වශයෙන් නොපිළිගත් නමුත් ඊශ්‍රායලයේ අගනගරය වන්නේ 'ජෙරුසෙලමය'.