15/08/2014
හ්ම්ම් යාලුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඡායාරූපකරනය කියන්නේ මොන වගේ දෙයක් ද කියලා..ඉතින් මේ ලිපිය බලන්නකෝ..
සරලව කිව්වොත්, “චලනය වන හෝ නිශ්චල දෙයක සේයාරුවක් ලබා ගැනීමේ කලාව” තමයි ඡායාරූපකරණය කියල හඳුන්වන්නෙ. මේ සඳහා භාවිතා කරන උපකරණය තමයි, “කැමරාව”.
කැමරාවේ ඇතුළත ක්රියාකාරිත්වය ගැන දැන ගැනීම නම් ඡායාරූපයක් ගැනීම සඳහා වැදගත් නොවන නිසා ඒ ගැන කතා කලයුතුයි කියල මම හිතන්නෙ නෑ. ඒත් කෙටියෙන් කියන්නම්.කැමරාව යම් දෙයකට යොමුකරල ඡායාරූපයක් ගැනීමේදී වෙන්නෙ, ඒ දෙයින් එන ආලෝකය කැමරා කාචය හරහා, කැමරාව තුළ ඇති සේයා පටය හෝ සංවේදක චිපය මතට වැදීමේදී ඇති වන සංවේදන අනුව ඒ මත අර කිව්ව දේවල් වල රූපයක් සටහන් වීම.
චිත්ර ශිල්පියෙක් තමුන්ගෙ පින්සල භාවිතා කරල වර්ණ හා ආලෝකය පාලනය කරනව වගේ, ඡායාරූප ශිල්පියෙක් කරන්නෙ, තියෙන ආලෝක තත්ව යටතේ ඒ ආලෝකය තමුන්ට ගැලපෙන විදිහට කලාත්මක විදිහට භාවිතා කරල කලාත්මක ඡායාරූපයක් ගන්න එක.
එක අතකින් බැලුවොත් ඡායාරූපකරණය කියන්නෙ මිල අධික කලාවක්. ඒක නිකම්ම නිකම් පුද්ගල ඡායාරූපයක් ගැනීමවත් භූදර්ශනයක ඡායාරූපයක් ගැනීමවත් නෙමෙයි. ඊට වඩා ගැඹුරු දෙයක්.
වෘත්තීය මට්ටමේ හෝ ආධුනික ඡායාරූප ශිල්පීන් කැමති ඡායාරූපකරණයේ එක එක පැති තියෙනව. වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් පුවත්පත් කලාව හා සම්බන්ධ ඡායාරූප ගන්න අතරෙ, ආධුනිකයෙක් භූදර්ශන ඡායාරූපකරණයට කැමති වෙන්න පුලුවන්. ඒක ඒ පුද්ගලයාගේ කැමැත්ත හා චින්තනය මත පදනම් වෙනවා