17/02/2026
අප ආයතනය ආරම්භ කොට වසර 2ක් සපිරීම හේතුවෙන්, දින 2026.02.07 අසිරිමත් මියුගුණ මහ සෑ වන්දනාව පවත්වන්නට යෙදුනි.
උදෑසන පටන් අප සියලු දෙනා එක්ව මල් ආසන, පහන් වැට, හදුන්කූරැ රදවන ආදිය සම්පූර්ණයෙන්ම පිරිසිදු කළෙමු.
වැලි මළුව ඇමදීමු.
සෑ මළුව සැරසීම ඇරඹුනේ ඉන්පසුවයි.
නිල් මානෙල් මල් හා රතු ඕලු මල් සහිත රන් පුන් කලස් 32 සෑය වටා තැන්පත් කලෙමු.
ශ්වේත වර්ණ නෙළුමින් පිරවු මල් ආසනයක් සම්බුද්ධ පූජාවන් තැන්පත් කිරීමට සැකසූවෙමු.
ඒ සැකසූ ආසනයේ ප්‍රණීත අෂ්ඨ පාන, ඖෂධ ගිලන් පස, මී පැණි, අට පිරිකර ආදී නොයෙකුත් පූජාවන්ගෙන් සෑ රජාණන්වහන්සේ පිදූයෙමු.
සංඛ නාද, හේවිසි නාද, මගුල් බෙර ආදී ශබ්ද පූජාවන්ගෙන් සෑ මළුව ගිගුම් දෙද්දී නේක සුවදැති සුවද දුමින් හාත්පස සුවදවත් කෙරූයෙමු.
වැඩමවූ මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් සෑ වන්දනාව සිදු කළ සේක.
සුමදුර සදහම් දෙසුමකින් අප හදවත් සුවපත් කළ සේක.
මෙසේ බොහෝ පිරිසකගේ දායකත්වය, උපකාර මැද සංවිධානය වූ අප ආයතනයේ දෙවන සංවත්සරයේ අසිරිමත් පිංකම් මාලාව නිමාවට පත් වුනි.
මාස ගණනක් පටන් සැලසුම් කොට කාලය, ශ්‍රමය, ධනය විය පැහැදම් කොට පවත්වන්නට යෙදුනු මේ අසිරිමත් පිංකම් මාලාව වෙනුවෙන් අප හට බොහෝ සැදැහවත් පිරිස් මෙන්ම ආයතනද නොපැකිලව උපකාර කල වග මෙහිලා සිහිකල යුතුමය.
01.ගුවන්විදුලි මාධ්‍ය කණ්ඩායම, වටවන කණිෂ්ඨ විද්‍යාලය, සොරබොර
වටවන පාසලත් අප ආයතනයත් අතර මේ හිතවත්කම වසරකට ආසන්න කාලයක් දක්වා දිවෙන්නකි. හෙට ලොව දිනන්නට වෙර දරණ මල් කැකුලු වන් දරු කැලකට නිවැරදි මාවත පෙන්වන විදුහල්පතිතුමා මෙන්ම සමන් සර් සහ පාසලේ තවත් ගුරුවරියක් දරුවන් පිරිසක් සහ දෙමාපිය පිරිසක් සමග දෙවරක් නොසිතා මේ පින්කම් මාලාව වෙනුවෙන් අපත් සමඟ අත්වැල් බැදගත්තේ තමතමන්ගේ ජීවිත වලට සොඳුරු වූ පුණ්‍ය සම්භාරයක් එක් රැස් කරගනිමිනි.
02. ග්‍රෑන්ඩ් සැලූන් - මහියංගණය
03. වීරසේකර සර්විස් සෙන්ටර් - මහියංගණය
04. කුඹුක කැෆේ - රෝහණ මහියංගණය
05. නෝවා එන්ටර්ටේන්මන්ට්
යන ආයතන මෙම අසිරිමත් පිංකම සාර්ථක කරගැනීමෙහිලා මහත් වූ දායකත්වයක් දැක්වූ වග සිහි නොකලොත් එය අඩුවකි.
එමෙන්ම හේවිසි මගුල් බෙර,සංඛ නාද ආදී ශබ්ද පූජාවන්ට අප හිතවත් උපුල් අයියා එකතු වූයේ පිංකම තවත් සුන්දර කරවමිනි.
මෙසේ බොහෝ පිරිසකගේ එකතුවීම නිසා මහ වැසි මැද වුවද අපගේ ජීවිත වලට කිසිදා නොනැසෙන පිනක් එක් රැස් කරගතිමු.
උදෑසන පටන් පහන් වැට. මල් ආසන, හඳුන් කූරු භාජන පිරිසිදු වූයේ යම්සේද එසෙයින්ම අපේ ජීවිත වල කෙලෙස් මල බැහැර වේවා!
බුදුරජාණන්වහන්සේගේ සුගන්ධ කුටිය බඳු වූ මහා සෑය, සුවඳ දුමින් සුවඳවත් වූයේ යම්සේද එසෙයින්ම අපේ ජීවිත සිල් සුවඳින් සුවඳවත් වේවා!
මහ සෑ මළුව පහන් ආලෝකයෙන් ආලෝකමත් වූයේ යම්සේද අපගේ ජීවිතද ප්‍රඤාලෝකයෙන් ආලෝකමත් වේවා!
භාග්‍යවතුන්වහන්සේ උදෙසාම රන් පුන්කලසින් සුවඳ මල් තැන්පත් කරවා ශ්වේත වර්ණ මල් ආසනයක නානා සුවඳ මලින් සරසවා සම්බුදුන් පිදූයේ යම්සේද එසෙයින්ම අපගේ ජීවිතවලට සුපිරිසුදු නිර්මල සම්බුදු සදහම් සුවඳ නිබඳවම දැනේවා!
ශබ්ද පූජාවන්ගෙන් සංඛ නාදයෙන් සවන් පිනා ගියේ යම් සේද එසෙයින්ම අප හට කල්‍යාණ මිත්‍රයින්ගෙන් සුභාෂිතයම අසන්නට ලැබේවා!
අවසානයේ මෙසේ සනිටුහන් කරමු.
වසර දෙකක් මුළුල්ලේ ක්‍රියේටිව් කලර් ලැබ් අප ආයතනය ඔබ වෙනුවෙන් ගුණාත්මක සෙවාවක් සැපයීමට හැකිතාක් උත්සාහ කලෙමු. ඉදිරියටද එය එසේමය. අපගේ ගණුදෙනුකරුවන් නොවන්නට අපට මෙවන් සත්කාර්යන් කරන්නට කිසිකලෙකත් නොහැකිවනු ඇත. එහෙයින් අප සමඟ පසුගිය වසර දෙක පුරාවට වචනයකින් හෝ අත්වැල් බැඳගත්, අප දිරිගැන්වූ. ඔබටද මෙම පුණ්‍ය සම්භාරය දෙලොව සැපයම සලසන තුති කුසුමක් ලෙසින් මෙසේ පිළිගන්වමු.
ඔබට සියලු යහපත වේවා.
අපි
ක්‍රියේටිව් ස්ටුඩියෝ කලර් ලැබ් ඇන්ඩ් ප්‍රින්ටින් සොලූෂන්ස්
අංක 29
හෙළ බොජුන්හල පාර
මහියංගණය