21/11/2017
***දැදිගම කොටවෙහෙර (සූතිඝර චෛත්‍යය)***
දැදිගම කොටවෙහෙර නමින් ප්‍රකට මෙම ස්තූපය, සූතිඝර චෛත්‍ය වශයෙන් ද හඳුන්වනු ලැබේ. කොටවෙහෙර වෙත ළඟා විය හැක්කේ කොළඹ නුවර මාර්ගයේ නෙළුන්දෙනිය හන්දියෙන් ගලපිටමඩ මාර්ගයේ කි.මීටර් 3 ක් පමණ ගමන් කිරීමෙනි. අවිස්සාවේල්ල කෑගල්ල මගෙහි පිටගල්දෙනිය හන්දියෙන් හැරී තුංතොට හරහා ද මෙතැනට පැමිණිය හැකි වෙයි.
දැදිගම යනු ශ්‍රී ලංකාවේ ඓතිහාසික නගරයකි. අවම වශයෙන් මධ්‍ය ශිලා යුගයේ දී මෙම ප්‍රදේශය ජනාවාසව පැවැති බව නිශ්චය කර ගැනීමට හැකි සාධක ප්‍රදේශයෙන් හමු වී තිබේ. පුරාතනයේ මෙම ග්‍රාමය හඳුන්වා ඇත්තේ ‘පුංඛගාම’ යනුවෙන් ය. එසේම ජාතගාම, දැතිගම, පිලගම ආදී නම් වලින් පැරැණි ලේඛනයන්හි මෙන්ම වංශ කතාවන්හි දී ද හැඳින්වෙන්නේ අද අපට හමුවන මේ දැදි- ගම නම් ග්‍රාමය ය. පාලි භාෂාවෙන් ‘පුංඛ’ යන්නෙහි අර්ථය ඊතලයෙහි පිටුපස නොහොත් පිහාටුව නම් කොටස ය. එය දැත්ත ලෙසින් ද සිංහලෙන් හඳුන්වන අතර ‘පුංඛගාම’ නොහොත් දැතිගම දිගු ගමනක් ආ කට වහර විසින් දැදිගම බවට පත්කර තිබෙයි.
මානාභරණ නම් යුවරජතුමා දොළොස්වන ශත වර්ෂයේ දී දක්ෂිණ දේශයේ පාලකයා ලෙස දැදිගම කේන්ද්‍රස්ථානය කර ගනිමින් ප්‍රදේශය පාලනය කළේ ය. එතුමාගේ බිසව වූයේ රත්නාවලී නම් කුමරියයි. රත්නාවලී බිසව දැදිගම, යම් ස්ථානයකදී පින්වත් කුමරකු බිහි කළා ය. දරුවකු බිහිකරන තැනට අප වහරන්නේ ‘තිඹිරිගෙය’ වශයෙනි. මෙසේ මෙම තිඹිරිගෙය තුළ දී බිහිවන කුමරා, එසේ මෙසේ කෙනකු නොවන බව පසක් වන්නේ කාලයාගේ ඇවෑමෙනි.
ලංකා රාජ වංශයේ ශ්‍රේෂ්ඨ රජවරයකු වශයෙන් ත්‍රි සිංහලයම එක්සේසත් කරමින් මහත් කීර්තියක් ඉසිලූ මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153 – 1186 ) ලෙස රාජාභිෂේක ලබන්නේ මෙසේ උපදින පුත් කුමරුවා ය.
කුමරා උස් මහත් වී කලක් මායා රටේ ප්‍රාදේශීය පාලකයා බවට පත් වෙයි. එතුමා යුව රජු වශයෙන් සිටි කාලයේ දී තමා උපන් ස්ථානය සිහිවීම පිණිස තිඹිරිගෙය තිබූ තැන කුඩා ස්තූපයක් ගොඩනඟයි. පසුව මුළු රටම එක්සේසත් කරන මෙම මහීන්ද්රයාණන් ඉන් අනතුරුව එම කුඩා ස්තූපය මැදිකොට මහා ස්තූපයක් ගොඩනංවනු ලබන අතර දැදිගම කොටවෙහෙර නොහොත් සූතිඝර චෛත්‍ය වශයෙන් ප්‍රකට වන්නේ එයයි. කොටවෙහෙර යනුවෙන් වහරන්නේ කොත් කැරැල්ලක් රහිත විශේෂ දාගැබ් ආකෘතියක් බව ඇතැම් පුරා විද්‍යාඥයෝ හඳුන්වනු ලබති.
1947 වසරේ සිට ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා විසින් කළ කැණීම්හිදී කොටවෙහෙර සම්බන්ධව තොරතුරු රාශියක් අනාවරණය කරගනී. දැනට චෛත්‍යයේ වට ප්‍රමාණය අඩි 804 ක් ද උස අඩි 47 ක් ද වෙයි. 1951 වසරේ දී චෛත්‍ය තුළ වූ ධාතු ගර්භ 10 ක් තහවුරු කර ගන්නා ලදී. මෙම පුරාවිද්‍යාත්මක ගවේෂණයන්හිදී රජතුමා ප්‍රථමයෙන් ගොඩනැඟූ ස්තූපයත් ඒ තුළ මෙන්ම මහා ස්තූපයේ වූ ධාතු ගර්භ කීපයක් නිරාවරණය කර ගැනීමට හැකියාව ලැබේ.
එක් ධාතු ගර්භයක තිබී හමු වූ දැදිගම ලෝකඩ ඇත්පහන අද ලෝක ප්‍රසිද්ධ වී තිබෙයි. මෙම බුහුටි පහන හෙළ කලාකරුවාගේ අභිමානයේ ආලෝකය දියත පුරා විහිදුවීමට සමත් වූ විශිෂ්ට නිර්මාණයකි. විශ්මිත නූතන තාක්ෂණික ලෝකය පවා මවිත කරවන සුළු මෙම ඇත් පහන කොළඹ කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත. එය දම් වැලකින් එල්ලා තැබිය හැකිසේ නිමවූවකි. තෙල් පුරවනු ලබන්නේ ඇතාගේ කුසටය. ඇතා සිටගෙන සිටින වෘත්තාකාර තැටිය වටේට තිර යොදනු ලැබෙයි. තෙල් ගලාගෙන එන්නේ එහි දැවෙන තෙල් ප්‍රමාණය අනුවය. තැටියේ තෙල් පිරෙන විට වැඩිපුර තෙල් ගලා ඒම ස්වයංක්‍රීයව නවතියි. එය එසේ වීමට උපයෝගී කරගෙන ඇත්තේ වායු පීඩනය නම් න්‍යායයි. මේ නිසා පහනේ තෙල් උතුරා යාමක් සිදු නොවේ. පහන එල්ලා තැබීමට යොදා ගත් දම්වැල පවා නැට්ටුවන්ගේ සහ බෙරවාදකයන්ගේ රූප දම්වැල් පුරුක් සේ සාදා ඇතා පිටෙහි ඇත්ගොව්වකු හිඳවා සම්පූර්ණ ඇතා මැදි- වන සේ මකර තොරණක් ද යොදා පහනට ඉතා විචිත්‍රවත් පෙනුමක් ලබා දී තිබෙයි. මෙවන් සුළු දෙයක් පවා ඉතාමත් ආකර්ෂණීය ලෙස නිර්මාණය කිරීමට පෙළඹීමෙන් එදා ශිල්පියා සතු විද්‍යාත්මක ඥානය මෙන්ම කලාත්මක නිමැවුම් ගුණය එකසේ සංකලනය වී ඇති බව මෙවන් පුරාවස්තූන් තුළින් කදිමට සනාථ වෙයි.
එසේම රන් තහඩුවෙන් කළ බුද්ධ ප්‍රතිමාව පොළොන්නරු යුගයේ කාසි, පද්මාකාර දා ගැබේ ආකෘතිය, මැණික් ගිල් වූ ධාතු කරඬුවක්, ලෝකඩ සහ මැටි පහන්, වටිනා පාෂාණ ආදී නිධන් වස්තූන් ද ධාතු ගර්භයෙන් හමු වී තිබේ. මේ සියල්ල පරයන අපූරුම දෙය වන්නේ කුඩා ස්තූපයේ දා ගැබ තුළ තිබී හමු වූ තරමක් විශාල මැටි කොරහ ය. පුරා විද්‍යාඥයන් අනුමාන කරන්නේ කිරිකැටි කුමරු නෑවීම සඳහා මෙම කොරහ උපයෝගී කර ගන්නට ඇති බවය. කුමරා උපන් තිඹිරිගෙය මත මෙවන් මහා ස්තූපයක් ගොඩනංවා ඒ තුළ මැටි කොරහද නිධන් කරමින් රජතුමා තිඹිරිගෙයත් නෑවූ කොරහත් පූජනීය ස්මාරකයන් වශයෙන් සලකා ඇති බව පෙනෙයි.
පරාක්‍රමබාහු යුගයේ දී මෙම චෛත්‍යය කළ බවට සාධක තහවුරු කරගත හැකි පොළොන්නරු යුගයේ රේඛාමය ලක්ෂණ සහිත සිතුවම් දොළොස්වන සියවසට අයත් අක්ෂර සහිත ගල් පුවරුව ආදි දෑ ඉතිහාසයේ නිශ්චිත සලකුණු වෙනුවෙන් සාක්ෂි සපයනු ලබයි.
මෙසේ කිරිසුවඳැති මතකයට පූජනීයත්වයක් එක් කළ මිනිසා බෞද්ධ සංස්කෘතිකාංගයන්ගෙන් පෝෂණය ලබමින් සුන්දර නිර්මාණයන්ගෙන් ශිෂ්ටාචාර ගමන් මඟ සරසමින් ශ්‍රේෂ්ඨත්වයත් විශිෂ්ටත්වයත් දැදිගම කොටවෙහෙර තුළ සදානුස්මරණීය ලෙස තැන්පත් කර තිබේ.
(උපුටා ගැනීමකි )
Sony a6000 ft. Theek Photography
All images are property of the Theek Photography which are subject to copyright. Appropriate action will be taken for any misuse of the photographs by an individual or a group of people which violates the copyright law.
Lahiru Theekshana ©2017